වෙබ් ලිපිනය:

Wednesday, March 7, 2018

පිය සමර


ඒ නමසිය අසූ දෙකේ අවුරුද්දේ අන්තිම සතියේ දවසකි. මගේ පියාගේ මුල් ගමේම ජීවත් වූ ඔහුගේ බාල සොයුරෙකුත්, ඔහුගේ තවත් ඥාති සොහොයුරෙකුත් හදිසියේම අපේ ගෙදර ආවේ තරමක කලබල ස්වභාවයක් පෙන්වමිනි.

"අක්කෙ, අයිය ගෙදරද?"

සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් වරුවේ මගේ පියා ගෙදර සිටින්නට ඉඩක් නොතිබුණු තරම්ය.

"ඇයි, මල්ලි? මොකුත් කරදරයක්ද?"

"පොඩි කරදරයක්නම් තමයි! අයිය ගෙදර නැද්ද?"

"අයියනම් ගෙදර නෑ..."

ජංගම දුරකථන භාවිතයක් නොතිබුණු මේ කාලයේ සාමාන්‍ය දුරකථනයක් සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර එවැන්නක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු අධික මිල ගෙවීමේ හැකියාව තිබුණු අයෙකුට වුවද ඒ සඳහා වසර ගණනාවක් පොරොත්තු ලේඛණයක රැඳී සිටින්නට සිදුව තිබුණේය. හදිසි පණිවිඩයක් යැවිය හැකිව තිබුණු වේගවත්ම ක්‍රමය වූයේ විදුලි පණිවුඩයක් යැවීමයි. බොහෝ විට විදුලි පණිවුඩයකට වඩා වේගයෙන් පණිවුඩකරුවෙකුට අවශ්‍ය තැනට ළඟා විය හැකිව තිබුණේය.

බාප්පා පැමිණ තිබුණේ නරක පණිවුඩයක්ද සමඟිනි. මේ නරක පණිවුඩය හැකි ඉක්මණින් මගේ පියා වෙත සන්නිවේදනය කළ යුතු විය.

වාසනාවට මගේ පියා එදින සිටියේ විශාල දුරක නොවේ. අපේ එවක නිවසේ සිට සැතපුම් තුන හතරකට නොවැඩි දුරක වූ රජයේ දෙපාර්තමේන්තුවකට අයත් පුහුණු මධ්‍යස්ථානයකය. පණිවුඩකරුවන් දෙදෙනා සමඟ එහි යන්නට මමද එක් වුනෙමි.

දේශන ශාලාවේ පණහක හෝ සියයක පමණ පිරිසක් රැඳී සිටි අතර මගේ පියා දේශනයක් පවත්වමින් සිටියේය. ශාලාවේ කොට බිත්ති වලට උඩින් අප පැමිණෙනු මගේ පියාට දර්ශනය වන්නට ඇත. අප දේශන ශාලාවේ කොට බිත්තිය අයිනේ රැඳී සිටියෙමු.

දේශනය මඳකට නැවැත්වූ මගේ පියා අප සිටින තැනට පැමිණියේය.

"ඇයි, මල්ලි?"

"අයියේ කියන්ඩ ආවේනම් නරක ආරංචියක්!"

"මොකක්ද?"

මගේ පියා ඇසුවේ ඉන් පසුව අසන්නට ලැබෙන දෙය ගැන අදහසක් ඇතුව විය යුතුය.

ඔහුට එය අසන්නට ලැබුණේය. ඒ ඔහුගේ පියාගේ මරණය පිළිබඳ පුවතයි. පසුගිය සියවසේ මුල් අවුරුද්දේ ඉපදී තිබුණු මගේ පියාගේ පියා ඒ වන විට සිය අසූ දෙවසරක දිවි සැරිය නිමා කර තිබුණේය.

"ඔහොම පොඩ්ඩක් ඔතැන ඉන්න!"

ආපසු වේදිකාව මතට ගිය මගේ පියා කිසිදු කලබලයක් නැතිව සිය දේශනය නැවතත් ආරම්භ කළේය. විනාඩි දහයකින් පමණ පසුව නියමිත වේලාවටම දේශනය අවසන් කළේය. දේශනය අවසානයේ තවත් කෙටි නිවේදනයක් කරමින් ඔහු වේදිකාවෙන් බැස්සේය.

"මීට මොහොතකට පෙර මට අසන්නට ලැබුණේ මගේ ආදරණීය පියාගේ මරණය පිළිබඳ ශෝකදායක ආරංචියයි. ඒ නිසා, මට මෙහි දිගටම රැඳී සිටින්න හැකියාවක් නැහැ. ඒ ගැන සමාවන්න. කරුණාකර රැස්වීමේ කටයුතු දිගටම කරගෙන යන්න."

මගේ පියා අප අසලට පැමිණියේය.

"යමු!"

එසේ වුවත්, රැස්වීමේ කටයුතු බාධාවකින් තොරව දිගටම පැවැත්වුණේ නැත.

එක් අයෙක් නැඟිට එළියට ආවේය. තවත් අයෙක් ආවේය. තවත් අය ආවේය. දැන් අප වටා මිනිස් වළල්ලකි.

"මහත්තය අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ?"

මගේ පියා කවර කලෙකවත් ධන සම්පත් ගොඩ ගසා තිබුණු අයෙකු නොවේ. කිසියම් මුදලක් අතට ලැබෙන පරක්කුවෙන් එය වියදම් කර දැමීමේ මනා කුසලතාවයක් ඔහු සතු විය. එහෙත්, පරිවාර සම්පත්තියෙන්නම් ඔහුට කිසිදු අඩුවක් නොවීය.

"ඕගොල්ලො කවුරුවත් කරදර වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ කරගෙන ගිය වැඩේ දිගටම කරගෙන යන්න."

මගේ පියාට එදා ඔහුගේ පියාගේ මරණය කවර ආකාරයකට දැනුණාදැයි මට අවබෝධයක් තිබුණේ නැත. ඉන් පසුව ගෙවුණු වසර තිස්හයක කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබේ. විදුලි පණිවුඩ ක්‍රමය මියගොස් දැන් වසර ගණනාවකි. අද වන විට ජංගම දුරකථනයක් අතේ නැති කෙනෙක් නැත. මගේ පියාගේ පියා සිය දෙඅසූ වස් ජීවිත කාලය තුළ කිසිදා ඇසින් නොදුටු ජංගම දුරකථනය දෙඅසූ විය ආසන්නයේ සිටි මගේ පියාගේ හොඳම හිතමිතුරෙක් හා සේවකයෙක් වී සිටියේය. පියාගේ ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයටද වරින් වර නොයෙක් ආකාරයේ විද්‍යුත් පණිවුඩ පැමිනුණේය. මේවා බොහෝ විට කිසියම් විද්‍යුත් ලේඛණයක් සොයාදෙන මෙන් කෙරුණු ඉල්ලීම්ය. එහෙත්, දේශනයක්, හමුවක් හෝ රැස්වීමක් අතරතුර ජංගම දුරකථනය වෙත එබී බැලීම මගේ ක්‍රමය නොවේ. ඒ නිසා, දේශනයක් අතරතුර ලැබෙන පණිවුඩයක් මා දැනගන්නේ දේශනය අවසන් වීමෙන් පසුවය. ඉතිහාසය පුනරාවර්තනය වූවත් ඒ හරියටම එකම ආකාරයටම නොවේ.

සන්නිවේදන තාක්ෂනය වැනි දේ වසර තිස් හයක් තුළ ඇදහිය නොහැකි වේගයෙන් වෙනස් වී ඇත. තවත් බොහෝ දේවල්ද එසේ වෙනස් වී ඇත. එහෙත්, පිය පුතු සම්බන්ධතා වැනි මානුෂික සම්බන්ධතා වල ස්වභාවය පරම්පරා දෙක තුනක් තුළ එසේ වෙනස් වන්නේ නැත. ඒ නිසා වසර තිස් හයකට පෙර මගේ පියාගේ පියා මිය ගිය දින මගේ පියාට ඇති වුනු හැඟීම අනාගතයේ දිනෙක මගේ පුතුද ඊට බොහෝ සමාන අයුරකින් අත් විඳින්නට ඉඩ තිබේ.

11 comments:

  1. වයසක අයට ජංගම දුරකතන ලැබීමෙ හොඳක් මෙන්ම නරකක්ද තියෙනවා. මේ මගො අත් දැකීම. මගේ ගෙදර ඉන්නවා මගේ In laws දෙන්නා. 80+ දෙන්නදටම මොබයිල් තියෙනවා. MIL කරන්නේ දවසෙම එයාගේ ලොකු දුවට(wife elder sister) කතාකරල අපේ ඕප දුප වැරදි සහ අපේ දිනචරියාවම update කිරීමයි.

    ReplyDelete
    Replies
    1. තුවක්කු වලට මිනී මැරිය නොහැකි පරිදිම ජංගම දුරකථන වලට ඕපාදූප පතුරවන්නටද නොහැකිය. මගේ පියා ජීවිතයේ කවර හෝ දිනයක ඕපාදූපයක් කියනු හෝ අසනු මා අසා නැත. එමෙන්ම, ඔහු ඉතා සමීපව ඇසුරු කළ රටම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයින් ගණනාවක් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත වල ඔහු දැන සිටි පෞද්ගලික රහසිගත තොරතුරු අපට කිසිදිනෙකත් දැනගත නොහැකි වූවා පමණක් නොව කටටම උත්තරය දී ඇසු විටක පවා මුහුණෙන් හෝ කිසිදු හැඟීමක් නොපළකර සිටින්නට ඔහුට හැකි විය. ඒ නිසා, ඔහුගේ ජංගම දුරකථනය හරහාද මා දන්නා තරමින් කිසි විටෙක ඕපාදූපයක් පැතිරුණේ නැත.

      Delete
  2. මගේ පියාට ඔය පණිවුඩය ලැබුණේ sia සිටි නිවසේ අසල්වැසියකු ගෙන් උදේ පාන්දර. ඒ පණිවිඩය රැගෙන මම ගණේමුල්ලේ සිට පිළියන්දල නැන්දා ගේ නිවසට ගියා. හැබැයි මට නැන්දාට කීමට උපදෙස් ලැබුණේ සීයාට අසනීපයි කියා පමණයි. නමුත් nanda පණිවිඩය නිවැරදිව වටහා ගත්තා.

    මට ඔය පණිවිඩය ලැබුණේ මීට වසර හතකට කලින්.

    දැන් ඉතින් ඔය පණිවිඩය ලැබූණූ ඉකොනොමැට්ටාට, මට සහ අප වැනි වෙනත් අයට කළ හැක්කේ අපේ දරුවන්ට ඔය පණිවිඩය ලැබෙන දින තෙක්, හොඳ පියවරුන් ලෙස ජීවත් වීමයි.


    සුබ ගමන් පියාණනි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඩින් කියූ අවස්ථාවේදී පණිවුඩකරුවන් මගේ පියාට මුලින්ම කීවේද ඔහුගේ පියා මරණාසන්නව සිටින බවයි. මගේ පියා ක්ෂණිකව හා සෘජුවම අවශ්‍ය ප්‍රශ්නය ඇසුවේය. දේශනය අවසන් කිරීම සඳහා ආපසු ගියේ ඉන් පසුවය.

      Delete
  3. ඔබේ පියා ඉතා ඉහළ මට්ටමේ ඉවසීමක් තිබූ පරිණත පුද්ගලයෙක් බව පෙනේ, මෙවන් සිද්ධියකදී ඔහුගේ හැසිරීම විශිෂ්ටයි. නමුත් මා හිතන්නේ ඔබේ මුත්තනුවන් කලක් රෝගාතුරව මරණාසන්නව සිටි අයෙක් විය යුතුයි. නැතිනම් මෙවන් සිද්ධියකින් අධික කම්පනයක් ඇති නොවීමට බැහැ නේද? ඔහු පියාගේ මරණය අපේක්ෂාවෙන් සිටියානම් මෙසේ දරාගැනීමට හැකියි. එමෙන්ම ඔබේ බාප්පලත් "පොඩි කරදරයක්" කීමෙන් එය පෙනේ.

    නූතන තාක්ෂණෛක විප්ලවය සමග තාක්ෂණයත් සමග පරම්පරා වෙනස ජංගම දුරකථනයෙන් පෙනේ. අපේ පියවරු කිසිදා විදුලි හෝ හයිඩ්‍රජන් රියක නොයනු ඇති නමුත් අප මැදිවියේදී හයිඩ්‍රජන් හෝ පුද්ගලික ගුවන් කාර් වල යනු ඇති. අපේ ළමුන් මීටත් වඩා පුදුම දේ අනාගතයේ කරාවි.

    කෙසේ නමුත් ඉකොනොමැට්ටාට පොඩි දේශපාලන ප්‍රශ්නයකුත් යොමු කරමි. පසුගිය වනචර දශකය (2005 -2014) තුළ අන්ත දූෂිත මහින්ද රාජපක්‍ෂ නීලකාස කම්බා හොරා මහජන මුදල් සියයට 1000% හොරකම් කරමින් පිච්චියක් වියදම් කර හදපු දකුණු අධිවේගී මාර්ගය, හම්බන්තොට පාලම්වල යන්නේ කබරගොයි තලගොයි පමණක් බවත් යහපාලන අප හැදු රාජගිරිය ගුවන් පාලමේ දවසට වාහන එක් ලක්‍ෂ හැත්තෑහතර දහසක් යන බවත් ඇමති චම්පික රණවක පවසයි.

    කෝටි ගණන් මහජන මුදල් හොරාකමින් හම්බන්තොට හැදු වරායටද කිසිදු නැවක් නොඑන බවත් එන්නේ බලයන් හා කෙලවල්ලන් පමණක් බවත් කී ඇමතිවරයා මත්තල ගුවන් තොටුපලට එකදු ගුවන් යානාවක් හෝ නොඑන බවද සදහන් කරයි.

    ශ‍්‍රීලංකා ක‍්‍රිකට් ආයතනය ණය කර බංකොලොත් කර දැම්මේද රාජපක්‍ෂලා විසින් බවත් ක්‍රිකට් ක්‍රීඩාව රාජපක්‍ෂලා වළපල්ලටම ඇද දැමූ බවත් වත්මන් යහපාලන රජය ක්‍රිකට් ක්ෂණිකව නගාසිටවූ බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මැද කොළඹදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජන හමුවක් අමතමිනි.

    මේ කතාවත් ඇත්ත නේද? ඔබටත් මේ රාජපක්ෂලා සිදුකල සුවිසල් මුදල් නාස්තිය ගැන පෝස්ට් එකක් පළ කළ හැකිනම් බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. //නමුත් මා හිතන්නේ ඔබේ මුත්තනුවන් කලක් රෝගාතුරව මරණාසන්නව සිටි අයෙක් විය යුතුයි.//
      ලොකුවටම රෝගාතුරව නොසිටියත් මේ කාලයේදී ඔහුගේ මරණය සිදුවිය හැකිව තිබුණු බවට දළ අදහසක් තිබුණු බවයි මම හිතන්නේ. මීට සතියකට පමණ පෙර ඔහු බත් මුලකුත් බැඳගෙන පියා හමුවන්නට ගොස් ඔහුට අතින්ම බත් කවා පැමිණියා.

      Delete
  4. /ජංගම දුරකථන භාවිතයක් නොතිබුණු මේ කාලයේ සාමාන්‍ය දුරකථනයක් සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර එවැන්නක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු අධික මිල ගෙවීමේ හැකියාව තිබුණු අයෙකුට වුවද ඒ සඳහා වසර ගණනාවක් පොරොත්තු ලේඛණයක රැඳී සිටින්නට සිදුව තිබුණේය. හදිසි පණිවිඩයක් යැවිය හැකිව තිබුණු වේගවත්ම ක්‍රමය වූයේ විදුලි පණිවුඩයක් යැවීමයි. බොහෝ විට විදුලි පණිවුඩයකට වඩා වේගයෙන් පණිවුඩකරුවෙකුට අවශ්‍ය තැනට ළඟා විය හැකිව තිබුණේය./

    ස්තූතියි ඉකෝන්ස් ඔබට මෙන්ම මටද සුපුරුදු අතීතයක් පිළිබඳව සොඳුරු මතකයන් අවදි කිරීම වෙනුවෙන්...

    /ඉතිහාසය පුනරාවර්තනය වූවත් ඒ හරියටම එකම ආකාරයටම නොවේ./

    මගේ පියාණන්ගේ මරණය පිළිබඳව පණිවිඩය ලැබෙන විට මම මගේ නිල නිවාසයේ පොතක් කියවමින් සිටිබව මට අද වගේ මතකයි. ඒ "O Jerusalem!" නම්වූ අරාබි-ඊශ්‍රායල් ගැටුමේ ආරම්භය පිළිබඳව ලියවුනු පොතක්...

    ReplyDelete
  5. ඉයන්, ප්‍රවෘත්ති අසද්දී "ආණ්ඩුවේ වෙබ් අඩවි (සමාජ ජාල) තහනම තව දින කිහිපයක් පවතින්නේය" යැයි ඇසුණු විට මට මෙන්ම බොහෝ දෙනෙක් සමාජ ජාල ද උදව්වක් කර ගෙන බලයට පැමිණි පිරිසක් ම එය තහනම් කිරීම ගැන බොහෝ දෙනෙකුගේ හිතේ තියෙන්නේ අප්‍රසාදජනක හැඟීමක්. 2018 පෙබරවාරි 10 වෙනිදා ඡන්දෙන් ආණ්ඩුව කුජීත ලෙස පරාද වීමත් සමගම මෙතෙක් මේ රටේ ප්‍රධානම මාතෘකාව වුනේ අගමැතිවරයා ඉවත් කිරීම. ඊට කලින් මේ රටේ ප්‍රධාන මාතෘකාව බැදුම්කර වංචාවේ හොරුන්ට තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට තවමත් ඇවිත් නෑ. ගේන්න පොරොන්දු වූ අගමැතිතුමන් කරපු කිසි දේකුත් නෑ.

    කෙසේ නමුත් මේ ගොන් ජාතිවාදී පිස්සු ගැටුම විසින් අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය ඉවත් වී බැදුම්කර වංචාව බඩු මිලේ ප්‍රශ්නය ජනතාවට අමතක වී තියෙනවා. ඒ වෙනුවට සිංහලයන් සහ මුස්ලිම් වරුන් එකිනෙකා දෙස සැකයෙන් කෝපයෙන් බලන්න පටන් අරන් තියෙනවා. සමස්ථයක් ලෙස රටේ ප්‍රශ්න අමතක කරලා අළුත් ප්‍රශ්නයක් ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙනවා. කාටද මින් වාසි ලැබෙන්නේ. ආණ්ඩුවට මිසක් වෙන කාටවත්ම නෙවෙයි නේද?

    අගමැතිතුමන් නීතිය හා සාමය අමාත්‍යංශය බාරගත් වහාම මෙවැනි සිදුවීමක් ඇතිවීම අතිශයින්ම සැක සහිතයි. 1983 ජුලි කලබල ඇතිවෙද්දී තිබුනේත් එජාප ආණ්ඩුවක්. එදා ආමිකාරයින් 13 දෙනෙක් බිම්බෝම්බයකට ගොදුරු වී ඇති වු හදිසි මරණ හේතුවෙන් ජනතාව තුල ඇතිවු දැඩි ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට හරවා ආණ්ඩුව තමන්ගේ ඇග බේරාගත්තා. රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට පත්වුයේ කෙසේදැයි විග්‍රහ කරමින් රාජන් හූල් වැනි දෙමළ විද්වතුන් පොත් පවා ලියා තිබෙනවා. මේ සිදු වෙමින් පවතින්නේත් ආණ්ඩු විරෝධය සමනය කරගැනීමේ උපායක් ද?

    අපට තියෙනවා වැදගත් ප්‍රශ්නයක්. එදා මියගිය රියදුරු කුමාරසිංහට පහරදුන් මුස්ලිම් ජාතිකයන් වහා අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොදී පොලීසියට කවුද අත පොවල වෙනතකට යොමු කලේ? ඊට පස්සෙ පොලිසියේ කුජීත ක්‍රියාකාරීත්වයට විරෝධ්ය පළකළ පමණින් කිසිදු හේතුවක් නැතිව අහිංසක නිරායුධ 24 දෙනෙක් අත්අංගුවට අරගෙන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පොලීසියට උපදෙස් දුන් හස්තය කුමක්ද කියන එක සොයා ගත යුතු ව තිබෙනවා.

    මරාවාදී විපක්ෂ කල්ලිය පොහොට්ටුවෙන් "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" විදිහට තරග කරලා සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකට වඩා වැඩි පිරිසක් ආකර්ශණය කරගෙන තියෙනවා. ඔවුන්ට ඊට වඩා සිංහල සමාජයේ ඉදිරියට යන්න බෑ වගේ. එම හොර රැල ඊලගට බලන්නේ අවශ්‍ය සුලු ජාතික ඡන්ද ආකර්ශණය කරගන්න. බණ්ඩාරවෙල හා බේරුවල නගරසභා ස්වාධීන කණ්ඩායම් හරහා ජයග්‍රහණය කිරීමෙන් එම කුජීත හොර කල්ලිය මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගැනීමත් ආරම්භ වෙලා තියෙනවා. එවැනි පසුබිමක වනචර මරාවාදීන්ගේ පොහොට්ටු කල්ලිය තවත් ශක්තිමත් වීම වැලැක්වීමටත් මේවගේ ගැටුම් වලින් වාසියක් නේද වෙන්නෙ?

    ReplyDelete
  6. ඉකොනො, ඔබේ පියාට සුගති ජීවිතයකින් පසු ඔහු පැතූ බෝධියකින් නිවන් සුව පතමි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: